Sunday, March 31, 2024

රුවන්වැලිසෑ පුවරු ලිපිය.

 


   

      රුවන්වැලිසෑ පුවරු ලිපිය දෙවැනි ජෙට්ඨතිස්ස රජුගේ (ක්‍රි.ව.332-341) පුත වූ බුද්ධදාස රාජ්‍ය සමයට අයත් වෙයි. ඔහු සිරිමේඝවණ්ණ  රජතුමාගේ (ක්‍රි.ව 304-331) මුණුබුරාද වෙයි.දේශපාලනික වශයෙන් මේ ලිපියේ වැදගත්කම  වන්නේ ලිපිය අදාළ රාජ්‍ය සමය සඳහන් වීම හා රාජ්‍ය වංශ පරම්පරාව දැක්වීමයි.බුද්ධදාස රජු තම පෞද්ගලික නාමයට අමතර සීයාගේ නම ද මෙහි දක්වා තිබීමෙන් එය තහවුරු වෙයි. 

ශිලා ලේඛනය සම්පූර්ණයෙන්  නොමැති බැවින් සියලු කරුණු දැක්වීම අපහසු වුවත් රජයේ ප්‍රභූ පිරිසක් විසින් මේ ලිපිය කරවන ලද බව පැහැදිලිය . එකල නගර නාමයක් ලෙස ' මහිලක' පෞද්ගලික නාමයක් වශයෙන් ' කමලා' හදුනාගත හැකිය. 

තත්කාලීන පෞද්ගලික මෙන්ම ග්‍රාම නාම අධ්‍යනයේදී වැදගත් වන රුවන්වැලිසෑ පුවරු ලිපියෙන් සමාජය පිළිබඳව වැදගත් කරුණක්  හෙළිදරව් වෙයි. ඒ ' පින්' ප්‍රාර්ථනය මෙන්ම යම් පුණ්‍ය  කටයුත්තක් කිරීමෙන් ' යහපතක් ' වන බවට එකල ජනතාව විශ්වාස කිරීමයි. ඒ බව 'ස්ව ' සතනට පෙත අනුමොවතු ' ' පමුරුමකහට වෙඩ වයු' පාඨවලින් තහවුරු  වෙයි. 

මෙහි භාෂාව තුලින් කෙටි ලිපියක් වුවද කාලීන භාෂාව  අධ්‍යනයේ වැදගත් භාෂා ලක්ෂණ කිහිපයක් මේ ලිපියෙන් හඳුනාගත හැකි වේ.

ලේඛනය :-

01)... [සිරි] මෙක ජෙටතිස මහරජ අපයහ පුත බුදදස මහසෙන මහර/

02)...[ම]හිලක ණකරක සුමනයහ පුත මහිලක ණකරක සිවයහ මකල්ක ණකරක

03)...ජිත්‍ර කම[ම] අබ කරවික ටබි/

         සව-සතනට පෙත අනුමොවතු/ 

         මපුරුමකහට වෙඪ වයු/

අර්ථය:- 

ශ්‍රී මේඝ  ජෙට්ඨතිස්ස අභය මහරජුගේ පුත්‍ර වූ බුද්ධදාස මහාසේන මහාර '[ම]හිලක ' නගරයේ සිව ද 'මහිලක' නගරයේ  දුව වූ කමලා කුමරිය විසින් ද කරවන ලද ස්ථම්භයයි. සියලු සත්වයන්ට මේ පින අනුමෝදම් වෙත්වා! මහ රජතුමාට වැඩ වේවා!. 





ගැරඬියගල ගිරි ලිපිය.

 



ගැරඬියගල ගිරි ලිපිය තුන්වන කාශ්‍යප රාජ්‍ය සමයට අයත් ලිපියකි.මානවම්ම රජුගේ (ක්‍රි.ව. 691-726) එක් පුතෙකුට ' සිරිසංබො' උපාධි නාමය ලැබී ඇත.ඒ තුන්වන කාශ්‍යප රජුටය.මේ රාජ්‍ය සමයේදී 'මහින්ද නම් මහාදිපාදගේ මූලිකත්වයෙන් හා අනෙකුත් රාජ්‍ය  නිලධාරීන්ගේ  සහභාගිත්වයෙන්  බුද්ධ ශාසනයේ සංවර්ධනය සිදු කොට ඇති බව මෙයින් පැහැදිලි ය.

ධනවත් අයගෙන් ගෙන සීමා මායිම්  ද දක්වා මේ විහාරයේ භික්ෂූන් වහන්සේට අයිතිය තහවුරු කොට දැක්වීමෙන් එවක අරාමික  දේපලවලට  සමාජ බලපෑම් තිබූ බව පැහැදිලිය.ඒ බව එසේ කරන අයට බත් නොලැබෙන බව  දැක්වීමෙන් හා මතු ආත්මයන්හි බලු කපුටන් වන බව සදහන් කිරීමෙන් පැහැදිලි වෙයි. 

මේ ලිපියේ කාලීන වශයෙන් වැදගත්  සමාජ කරුණු ද හෙළිදරව්  කළ  හැකිය. සමාජයේ ධනවත් මෙන්ම දිළිඳු පිරිසක් සිටිබව,ධනවතුන්ගේ උදව්වෙන් විහාරාරම සතු දේපල සම්බන්ධයෙන්  යම් හානියක්  සිදු කරන පිරිස් වේ නම් ඔවුන්  මතු ආත්මයන්හි දී 'බලු කපුටන් වන බව ' ඔවුන්ගේ  විශ්වාසය  වූ බව හදුනාගත හැකිය.

කුඹුරු  වගාව මත දීර්ඝකාලීන  ශ්‍රී ලංකාවේ ආර්ථිකය රඳා පැවති බව  තහවුරු  කිරීමට  ද මේ ලිපිය උදව් කරගත හැකිය. එමෙන්ම  අයිතිය තහවුරු  කිරීම සඳහා  අයත් ප්‍රදේශ පහණ් කණු සිටුවීමද එකල  සමාජ සම්ප්‍රදායක්ව පැවති බවද මෙයින් තහවුරු වෙයි. එමෙන්ම කාලීම මිනුම් ක්‍රම පිළිබඳව අවබෝධ කොටගැනීමටද මේ ලිපිය වැදගත් වේ.මෙහි භාෂාව තුළ ඇ කාරය යෙදීම විශේෂත්වයකි .


ලේඛනය :-  (අ)

01) දම්(බ්)දිව් දුනු සිරි සම්බො මපු

02)(ර්)මුකා තුන්වන්නෙ මිහිද් මහපා-

03)-ණන්...ගොම්බියෙන් පහණ් හි

04)-න්ද්වා දුන් කිරියක් කුම්බුර් ඉසා බුද් ම

05) -හමලුන් මහබොදෙණියෙන් පහ-

06)-ණ් හින්දවා දුන් දෙපයක් කුම්බූර් ඉසා...

07)මහමලුන් මිහින්නරියෙන් පහණ් හි -

08)-[න්ද්)වා දුන් (කුම්බූර්)දෙපයක් ඉසා

 

     ආ

01)මෙ ලෙන (සෙනසන)බැන්දැ දෙව (//)සිද්ධිම්(//)දා-

02)-නපතින් සිගා මෙ ලෙණට් බහා ලු

03) කුම්බුරට් අවුල් කළ කෙනෙක් බුදෙනා බ-

04)-ත් නො ලැබෙත් පර දන්මයෙ බලු ක-

05)-වුඩු වෙත්වය්(//)කපකලෙ සෙනසුන 

06)බැවින්(//)

අර්ථය :-(අ)

දඹදිව උපන් සිරිසඝබෝ  මහ රජතුමාගේ තුන්වන වර්ෂයේ මහින්ද  මහාදිපාදයන් විසින් ' ගොම්බිය'නම් ගමින් සීමා ගල් සිටුවා දෙන ලද කිරියක කුඹුරු ද,බුද්ධ මහා මල්ලයන් විසින් මහ බොදෙණියෙන් ගල් සිදුවා දෙන ලද දෙකක කුඹුරු ද, මහා මල්ල  විසින් ' මිහින්නරියෙන් ' ගල් හිඳුවා දෙන ලද කුඹුරු  දෙපාදයද මේ(ලෙණ) සෙනසුනට පූජා කරන ලදි.

(ආ)

මංගල්‍යයක් වේවා , දානපතින්ගෙන් ඉල්ලා මේ ලෙණට අයිති කොට දුන් කුඹුරට  ආරවුල් ඇති කළ කෙනෙක් සිටී නම් ආහාරයට බත් නොලැබේ.ඊලග ආත්මයන්හි දී බල්ලන් කපුටන් වෙත්වා!ඒ මේ සේනාසනයට අයත් කළ බැවිනි.







 





Wednesday, March 27, 2024

තෝණිගල ගිරි ලිපිය

 


තෝණිගල ගිරි ලිපිය වවුනියාවේ සිට හොරොව්පතානට යන පාරේ හයවැනි සැතපුම්  කණුවට සැතපුම් 1/2 පමණ උතුරින් පිහිටා ඇත.මෙහි දකුණු ' තිලත්කුලම'  ප්‍රදේශයේ ' තෝණිගල ' හෙවත් ' නාගරගල' නමින් හැදින්වෙන ගල් තලාව (නාගර අකුරින් ලියූ ලිපියකි) මත ඇති ලිපිය යි.ඔරුවක හැඩය ඇති නිසා තෝණිගල  වශයෙන් හදුන්වා ඇත.ක්‍රි.ව 4 වන සියවසේ අවසානයට අයත් ය.මේ ලිපිය මහාසේන රජු පුත් 'සිරිමෙවන් රජු'  විසින් කරවන ලද බව සෙල්ලිපියේ සඳහන්ය.ඒ රජුගේ  රාජ්‍යත්වයෙන්  තුන්වෙනි වර්ෂයේ ය.දේශපාලන මෙන්ම සමාජ ,සංස්කෘතික හා ආර්ථික වශයෙන් මේ ලිපිය වැදගත් ය.

නගරයේ උතුරු ප්‍රදේශයේ 'කළහුමණක'නම් වූ නියම් ග්‍රාමයේ පිහිටි වෙළෙඳ ශ්‍රේණියක තැන්පත් කර එහි මුල් මුදල එසේ තිබිය දී එමගින් ලබාගත හැකි  පොළියෙන්'යහිසපවත' විහාර වාසි භික්ෂූන් වහන්සේලාට වස් කාලයේදී වුවමනා ආහාරපාන සම්පාදනය කිරීමට,වැය කිරීමට මේ ලිපියෙන් අනුමත කොට තිබේ.මේ සඳහා ක්‍රියාත්මක වී ඇත්තේ ' කඩුබලගම' වසන පහෙජසිව නව විහාරයට  ය.මෙහි සඳහන් ව ඇති  වදගත් කරුණක් වන්නේ තැන්පත් කොට තිබූ මුල් මුදලට ලැබිය යුතු පොලී ප්‍රමාණ  දක්වා තිබීමයි. ඒ අනුව කිරුම්,මිනුම් සම්බන්ධයෙන් ද මේ ලිපිය වැදගත්ය.


එමෙන්ම  මේ ලිපියේ භික්ෂූන් වහන්සේලාගේ ආහාරය සඳහා සැපයිය යුතු බඩු පිළිබඳ ව සඳහන් ව තිබේ.සාමාන්‍යයෙන් ප්‍රභූන් සඳහා ඉහළ කෑම වට්ටෝරුවක් ලබාදීම සම්මතයකි.ඊට භික්ෂූන් වහන්සේලාද ඇතුළත්ය.තෝණිගල  ලිපියේ ආහාර සම්බන්ධව වැදගත් වන්නේ එකළ ඉහළ  සමාජයේ  ප්‍රභූන් ගත් ආහාර වේලක් එහි ඇතුළත්ව තිබීමයි. අතුරුපස ආදිය පිළිබඳව ඇතුළත් වුවත් මාලු හෝ වෙනත් මාංශ ආහාර  පිළිබඳ ව සඳහන් නොවේ.

ආගමික වශයෙන් ' යහිසපබ්බත' විහාරයේ ආර්‍යවංස ප්‍රතිපදාව සම්බන්ධ ව භික්ෂූන් වහන්සේලාට ලබාදුන් දීමනාවන් පිළිබඳව  ඇතුළත්ව ඇත.

මෙහි භාෂාව ගැන අවධානය යොමු කිරීමේදි  ලිපියේ පවතින්නේ  බ්‍රාහ්මීය අක්ෂර වන අතර හතරවන සියවසේ අග භාගයට අයත් වේ.සිංහල භාෂාවේ පරිණාමය ගැන සැලකීමේදී තෝණිගල ශිලා ලිපිය සන්දිස්ථානයකි..

ලේඛනය -: 

 01)සි/පුවිය මහසෙන-මහරජහ පුත සරිමෙකවණ -අබ-මහ-රජහ චත ලෙගි

02)-තක තිණවනක වසහි/නකරහි උතරපසහි කළහුමනක-නියමතනහි සිය අ-

03)-විය කිණියෙනි නිකත කඩුබලගමකෙහි වසනක-අමෙති-පහෙජ-සිවය-

04)-හ පුත - දෙවයහ යහිසපවය නව-වහෙරකහි දින අරියව

05)-ස වටවි,දෙ හඩක දස අමණක වී ඉච ස අමණක

06)උදි ඉච බයලි දස අමණ ඉච/මෙ දෙ හකඩ දස අ-

07)-මණක වි පිටදඩ-හසහි වෙඪ අකල-හසහි වෙඪ ම-

08)-දෙ-හසහි වෙඪ පචවිසිය අමණක  වි ඉච මෙ ස අමණක උදිහි

09) වෙඪ එක අමණ දෙ පෙකඩක උදි ඉච දස අමණක  බයලිහි වෙඪ/දෙ අ-

10)-මණ දෙ පෙකඩක බයලි ඉච/මෙ වතක වණහි ගහෙ කිණිය චිටවය  වෙ-


අර්ථය:-

01) යහපතක් වේවා! පෘථිවීශ්වර වූ මහාසේන මහ රජුගේ පුත්‍ර වූ සිරිමෙඝවණ්ණ අබය මහ රජු සේසත් එස වූ

02) තුන්වන වර්ෂයේ දී නගරයේ උතුරු  පැත්තේ'කළහුමනක'  නිගම ස්ථානයෙහි.

03) තමා විසින් පරිත්‍යාග කරන ලද බද්දෙන් තබල ලදි. කඩුබලගම ගම වසන ' පහෙජසිව' ඇමතියාගේ

04) පුතු දේව විසින් යහිසපබ්බත විහාරයට දෙන ලද

05)ආර්‍යවංශ වෘත්තියයි. දෙයාළ දස අමුණක වී ද අමුණු හයක 

06)  උඳු ද,මුං ඇට අමුණු දහයක් ද යන මේ දෙයාළ දස

07)අමුණක් වූ වීවල මාස්කන්නයේ පොලියද යල කන්නයේ පොලිය ද

08) මැද කන්නයේ පොලිය ද වූ විසිපස් අමුණක වී ද මෙම හය අමුණක උඳුවල

09) පොලිය වූ එක් අමුණු දෙපෑළ ද දස අමුණක බයළි පොලිය  වූ අමුණකුත්

10) දෙපෑලක මුං ඇට ද මෙකී තාක් පොලී වශයෙන් ගත යුතු දේ නැවත බද්දෙහි තබා.









 








   

Wednesday, March 20, 2024

වල්ලිපුරම් රන් තහඩුව.





ක්‍රි.ව දෙවැනි සියවසට අයත් මේ ලිපිය  යාපනයේ 'වල්ලිපුරම්'  නැමැති ප්‍රදේශයෙන් මෙය සොයාගෙ ඇති අතර මෙම ලිපිය රන්පතක ලියා ඇති නිසා විශේෂ වේ.මෙහි සදහන් ආකාරයට මේ ලිපිය වසභ රාජ්‍ය සමයට   ම (ක්‍රි.ව 66-110) අයත් කළ හැකිය.'වනහබය'යන්නට 'වහයහ' ලෙස යෙදී ඇත. 

පාලි-වසභ
සංස්කෘත-වෘෂභ,
පුරාතන සිංහල 'වහබ' යන්නට 'වහය' භාවිත ය.මෙහි අර්ථය 'වෘෂභය'නොහොත් 'අති ශ්‍රේෂ්ඨයා'ය. 

දේශපාලන මෙන්ම ආගමික වශයෙන් ද සමාජ තොරතුරු සෙවීමේදී ද මේ ලිපිය වැදගත් ය.වසභ රාජ්‍ය කාලයේදී ඇමතිවරුන් යටතේ ප්‍රදේශ පාලනය වූ බවත්,ලංකාවේ ප්‍රධාන පාලකයා වශයෙන් වසභ රජු  පෙනී සිටි බවත් එයින් තහවුරු වන එක් කරුණකි.රජු ප්‍රමුඛ නිලධාරීන් විහාරාරාම කරවමින් ශාසන අභිවෘද්ධිය නගා සිටුවීම රජු ප්‍රමුඛ  නිලධාරීන්ගේ ප්‍රධාන වගකීමක් ,යුතුකමක් ව තිබූ බව තවත්  කරුණකි.

සිංහල රජවරුන් යටතේ යාපනය ප්‍රදේශයේ  ද පාලනය  සිදුව ඇති අතර ' බුදුදහම ' ලංකාව පුරාම ව්‍යාප්තව පැවති බව තහවුරු කිරීමට ද 'වල්ලිපුරම් රන්පත' වැදගත් මූලාශ්‍රයකි.එමෙන්ම  සමාජයම වශයෙන්  කාලීන ' පුද්ගල නාම' මෙන්ම ' ග්‍රාම නාම' හදුනාගැනීමටද වැදගත්ය.

මේ ආගමික ස්ථානය යාපනය අර්ධද්වීපය සමානාර්ථවාචී වන බව පෙනේ. මෙහි 'වහයහ' හා 'ඉසිගිරියෙ' පෞද්ගලික නාම ලෙස ගත හැකි අතර ' නකදිව' නාගද්වීපය 'බදකර අතනෙ' ප්‍රදේශ නාමය.'පියගුකතිස' පුද්ගල හෝ විහාර නාමය වශයෙන් එහි දැක්වීම අසීරු වුවද නාගද්වීපයේ  පැවති ප්‍රදේශයක් ලෙස 'බදකර අතන' නිශ්චිත වශයෙන් සඳහන් කිරීමට අවකාශ ලැබේ. 
 
මෙහි භාෂාව භාවිතය පිළිබඳ තොරතුරු අනුව බ්‍රාහ්මී අක්ෂරවලින් රචනා වී ඇති මේ රන්පත ක්‍රි.ව දෙවන සියවසට අයත් කළ හැකිය. පුරාණතම සිංහල භාෂාව එහි ඇතුළත්ය .

ලේඛනය - :

 සිද්ධ මහරජ වහයහ රජෙහි අමෙතෙ
ඉසිගිරයෙ නකදිව බුජමෙනි
බදකර - අතනෙහි පියගුක-තිස
විහර කරිතෙ.

අර්ථය-:

යහපතක් වේවා!වසභ මහරජගේ රාජ්‍ය කාලයේ ' ඉසගිරියෙ' ඇමතියා ' නකදිව' පාලනය කරන කල්හි ' බදකර' අතනෙහි,(ප්‍රදේශයේ/ග්‍රාමයේ)විහාරය කරවීය.

'පියගුකතිස'යන්න විහාරයේ නම වශයෙන් සඳහන්ව ඇතැයි සැලකීම වඩාත් උචිත බ්ව පෙනේ.නමුත් මහාචාර්ය මුදියන්සේ එය පුද්ගල නාමයක් වශයෙන් ගෙන අර්ථය දක්වා ඇත්තේ මෙසේය.

වසභ මහ රජුගේ  රාජ්‍ය කාලයෙහි ඉරිගිරුයෙ ඇමතියා නකදිව පාලනය කරන සඳ ,බදකර අතනෙහි පියගුකතිස විහාරයක් කරවීය.
 

Tuesday, March 19, 2024

මහරත්මලේ ගිරි ලිපිය.

     


 මෙහි රජවරුන් තිදෙනෙකු පිළිබඳව සසඳහන්ය.ඒ දේවානම්පියතිස්ස පු(ටි)කණ ගමිණි අභය හා  දෙවානපිය නක(නාග)රජවරුන්ය.මේ තිදෙනාම එක් එක් කාලවලදී 'මහරජු' ලෙස රටේ පාලනය ගෙන ගොස් ඇති බව පැහැදිලිය.ඉතිහාසගත තොරතුරු සමඟ අධ්‍යනයේදී මේ ලිපියේ සඳහන්  රජවරුන් වන්නේ(1)මහා තිස්ස (ක්‍රි.පුඉ 76-62),(02)කූටකණ්ණ තිස්ස (ක්‍රි.පූ 42-20)හා (03)මහානාග (ක්‍රි.ව 9-21)යන රජවරුන්ය.


ක්‍රි.ව. පළවන සියවස වන විට ලෙන් පමණක් නොව භික්ෂූන් වහන්සේලාට 'සිව්පසය' ප්‍රධානය කිරීමට රජවරුන් පෙළඹී ඇති බව පෙනීයයි.'විහිරබිජක' ප්‍රදේශයේ මුට්ගුතික සහ 'පරිවතක' නමින් යුත් විහාරස්ථාන දෙකක පිළිබඳ ව සඳහන් වන අතර වැදගත් වන කරුණක් වන්නේ මේ විහාර දෙකෙන් තෝරා ගත් පිරිසකට පමණක් කැද,බත් හා වස්ත්‍ර පිළිගැන්වීමයි.මේ වනවිට එකල සමාජයේ කැඳ හා බත් ප්‍රධාන ආහාරය වී යැයි තහවුරු කිරීමට මේ ලිපිය වැදගත් වේ.

    මෙහි භාෂාව ගැන අධ්‍යනය කිරීමේදී දේවානං පිය - දෙවන පිය - දීර්ඝය හා බිංදුව ලොප් කොට ඇත.'හ'ප්‍රහ්‍යය 'මහරජ'සම්බන්ධ විභක්ති ඒක වචනාර්ථයේ යෙදී ඇත.ආධාර විභක්ති ඒක වචනාර්ථයේ 'හ' ප්‍රත්‍යය (විහරහි)යොදා තිබේ.සං:'කෘත්වා පා: කත්වා යන්නෙන් තද්භව වූවක් සේ 'කටු'ගත හැකිය.


ලේඛනය :- 

      01.  සිධම් දෙවානපිය ති(ස-මහ)-රජහ මරු-මකණකනෙ දෙවානපිය පු(ටි)කණ ගමිණි.

      02.අභය-මහරජ (හ පුතෙ දෙවා)නපොය නක-මහරජෙ විහිරබිජකහි මුටිගුතික.

      03.සහ පරිවතක...විහරහි භිකුසගහ විසිති හමාණන(ය)යාකු ච බත ච .

      04.වසවසික-හාටික(ච)...(න)කටු දිනෙ (උති)රික...ර(ප)ට වානක කටු දිනෙ.

අර්ථය:-

යහපතක් වේවා දේවානම් පියතිස්ස මහරජුගේ මුණුබුරු වූ දෙවනපිය පු(ටි)කණ ගමිණි අභය මහ රජතුමාගේ පුතු වූ දෙවානපිය නාග මහරජ විහිරබිජක ප්‍රදේශයේ මුටිගුතික සහ පරිවතක...විහාරයේ භික්ෂු සංඝයා අතුරෙන් විසි නමකට කැඳ ද,බත් ද වස්ත්‍ර ද... න කොට දුන්නේය.(උති) රික ...(ප)ට වානක කොට දුන්නේය.


Tuesday, March 5, 2024

ගඩලාදෙණිය ගිරි ලිපිය.


  මෙම ශිලාලිපිය මහනුවර  දිස්ත්‍රික්කයේ උඩුනුවර  ප්‍රදේශයට අයත් ඓතිහාසික ගඩොලාදෙණි පුද බිමෙහි විහාර මන්දිරය හා චෛත්‍යය අතර ගල්තලාවෙහි කරවන ලද්දකි.විජයනගරය සම්ප්‍රදායට අනුව  නිර්මාණය කරන ලද පූර්වෝක්ට විහාර මන්දිරය ගොඩනංවන ලද්දේ ධර්මකීර්ති නැමැති මාහිමි නමක විසිනි.එම විහාර කර්මාන්තය පිළිබඳ හා එහි නඩත්තු සඳහා  පුදන ලද ගම්බිම් පිළිබඳ හා එහි නඩත්තුව සඳහා පුදන ලද ගම්බිම් පිළිබඳ විස්තරයක් මෙහි අන්තර්ගත ඇත. 

     මෙම ශිලාලිපියෙහි සඳහන් ධර්මකීර්ති නැමැති මාහිමි නමක විසිනි.ගඩලාදෙණි විහාරය ,නියම්ගම්පාය විහාරය හා ලංකාතිලක විහාරය  ගම්පොළ යුගයට අයත් අනුස්මරණීය සිහිවටන වෙයි.විශේෂයෙන් ම ගඩලාදෙණි විහාරය  හා ලංකාතිලක විහාරය විජය නගර සම්ප්‍රදායට අයත් නිර්මාණ දෙකකි.මෙම ශිලාලිපියෙහි සඳහන් වන ධර්මකීර්ති හිමි හා සේනාධිලංකාර දෙදෙනා දකුණු ඉන්දියාව සමඟ සම්බන්ධතා පැවැත්වූවෝ වෙති.ධර්මකීර්ති හිමි දඹදිව ධාන්‍යකටකයේ දෙමහල් පිළිම ගෙයක් කරවා ඇති බව මෙයින් හෙළිවේ.ගම්පොළ යුගයේ සිටි ද්විතීය ධර්මකීර්ති හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්මාලංකාරයේ මෙම ගඩලාදෙණි විහාරය සද්ධර්මතිලක ගඩලාදෙණි විහාරය නමින් හදුන්වා ඇත.

මෙය බුවනෙකබාහු නැමැති රජ කෙනෙකුගේ කාලයේ පිහිටුවන ලද්දක් බව ශිලාලිපියෙ සඳහන් වෙයි.බුවනෙකබාහු යනු ගම්පොළ යුගයේ ආරම්භක රජු වන සිව්වන බුවනෙකබාහු ය.

මෙය නූතන සිංහල යුගයට අයත් වන අතර අක්ෂර වර්තමාන සිංහල අක්ෂරවලට බොහො දුරට සමානය.

ලේඛනය :-

ස්වස්ති ශුභමස්තු              ශ්‍රී ධර්මකීර්ති ස්ථිවිරාධි (කාරෙ)........  ජනානවි...............                ............තු(ං)පුණ්‍යමනෙකරූපං කාරාපයන් ශ්‍රී ඝන ශ්‍රී විහාරං .,

ශ්‍රී ශකවර්ෂයෙන් එක්වා (දහස්)දෙසිය සසැට අවුරු(ද්දක්) පිරුණු (ස)නද (මෙ)කල් රජ පැමිණි ත්‍රිසිංහ,

ළාධීශ්වර  භුවනෙකබා (හු න)රෙන්ද්‍රයහට තුන්වනු (වෙසග)(පුර)පසලොස්වක ශ්‍රී මහාබෝධි වඩා,

ශ්‍රී ලංකාදීපයට පැමිණි (ගණ)වැ(සි)වංශාභිජාත ධර්මකීර්ති ස්ථිවිරපාදයන් වහන්සේ  ද,

ම්බදිවැන් ශ්‍රිධාන්‍යකටයෙ(දෙමා)ල් පිළිම ගෙයක් .....බොහො(ර)න්(රුවන්).......(ලං)කාද්වීප,

යෙතින් (බොහො)කාලයක් පවත්නා ලෙසැ සි(ලාමය පිළි)ම ගෙයක් කර වනු කැමැතිවැ රජ යුව,

රජ අ(ධිකාර සෙ)නෙවිරත් (අතථි)නායක ......නායක.... නායක.....ලිය.,

න්නන්  ආ(දිවු  පෘ)ථුවිශ්වරයන් ද....න්ද (ක්ෂේත්‍රිය) බ්‍රා(හ්මණ වෙ)ශ්‍ය ශුද්‍රාදී (උත්ත)මා

ධම ජනයන් ද සිංහල දෙමළ ආදී වූ....සේනා කේ... ත්..කරවා පණමින් ල (ක්)

ෂයක් විජරත් වී තුන්සියක් යාළ විචාරත් දී වාස්තුශාස්ත්‍රප්‍රතිමාශා(ස්ත්‍රාදී)යෙහෙවි,

ස්ථපතිගණාධිපති ග(ණෙ)ශ්වරාචාරීන් ප්‍රධාන කොට ඇති ආචාර්යවරුන් ලවා සී (ඝුරු)වාණදේ,

නුවර මධයෙ දිග්ගල අත්ළේ තුන්මාල් පිළිමගෙන කරවන සෙක් පල්ලේ මාලේ ශ්ක්‍ර බ්‍රහ්ම ,

සුයාම සන්ථුෂිත නාථ මයිත්‍රි ආදී දෙවියන් විසින් පිරිවරන ලද වජ්‍රාසනා රූඪ්වැ බෝධීන්වහා,

න්සෙට පිට ලා වැඩැ හුන් සතාතුක මහපිළිමසාමී(නුත්)අනුපිළිම දෙදෙනා වහන්සෙත් (නො),

යෙක් ච්‍ත්‍ර කර්මාන්තයෙන් විචිත්‍ර කොට කරවා මුලුන් මහළෙ චෛත්‍යයක්ගර්භයේ හා(රිජාත)වෘ,

ක්ෂයමූලයෙහි පන්ඩුකම්භලා (සනාරු)ඪවැ මුර්තදේව පුත්‍ර ප්‍රමුඛ ශක්‍ර බ්‍රහ්මාදින් දේ (වියන් පි )රි,

වරා විජම්දේශනාවට වැඩ හුන් (බුධ)රූපය කරවා වි(හාර)යට ආරක්ෂාවකුත් වුව මැනවැයි...දේ,

විරජගෙයකුත් කරවා බොදි චෛත්‍ය පුෂ්පරාම පලරාමා(දීන්)සරහා තමන් වහන්සේ ...ය,

න් කරවන ලද ....ධර්මකීර්ති නම් මෙවිහා(රය දැකෙ)සමාධිවැ ....දෙණි ...ය.,

මියා....(කර්මාන්තයට )පණම් තුන්දාසක් වී(ජරත්)...ගෙවළ දී වෙල් (වහ) ල්

අර්ථය:- 

යහපතක් වේවා ,ධර්මකීර්ති ස්ථිවිරයන් වහන්සේ ප්‍රධාන කොට ඇති,නොයෙක් පින් රැස් කරනු පිණිස වූ උතුම් විහාරය කරවූහ,

ශකවර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ එක්දහස් දෙවොඉය හැටහයක් පිරුණු කල්හි මෙකල රජ බවට ආත් තුන් සිංහලයට නායක වූ,

බුවනෙකබාහු රජුට  තුන්වන වෙසක් පුර පසලොස්වක දිනයෙහි ශ්‍රී මහා බෝධිය වඩමවාගෙන,

ශ්‍රී ලංකාවට පැමිණි  ගණවැසි වශයෙහි උපන් ධර්මකීර්ති ස්ථිවරයන් වහන්සේ ඉන්දියාවෙහි ද ශ්‍රී ධාන්‍යාකටකයේ දෙමහල් ප්‍රතිමා ගෘහයක් බොහෝ රන් හා මැණික්,

ලංකාවෙහි ද, දීර්ඝ කාලයක් පවතින පරිද්දෙන් ශෛලමය ප්‍රතිමා  ගෘහයක් කරවීමට කැමැත්තෙන් රට පාලනය කරන ඉහත සඳහන් ප්‍රධානින්ද ක්ෂත්‍රීය බ්‍රාහ්මණ  වෛශ්‍ය ශුද්‍රාදී උත්තමාධම ජනයන්ද සිංහල  දෙමළ ආදිවූ....

පණම් ලක්ෂයක් පමණ හා කරත්ත තුන්සීයක් පමණ වී ද ප්‍රදානය කොට ගෘහ නිර්මාණ ශාස්ත්‍රීය  ප්‍රතින් නිර්මාණ ශාස්ත්‍රාදියෙහි, 

ගෘහ කර්මාන්ත  හා සම්බන්ධ  ශිල්ප ශ්‍රේණි නායක ශිල්ප ශ්‍රේණියෙහි ආචාර්යවරයා ප්‍රමුඛ කොට ඇති ආචාර්යවරුන් ලවා සිගුරුවාණ නම් පර්වතය ඇසුරු කොට පවත්නා උඩුනුවර  හා යටිනුවර  මැද ගල්තලාවෙහි ,මහල් තුනකින් යුක්ත ප්‍රතිමා ගෘහය කරවනුයේ පහළ මාලයේ 

අභිධර්ම දේශනාවට දිව්‍යරාජ ගෘහයක් හෙවත් දේවාලයක් පුෂ්ප උයන් පලතුරු උයන් ආදියෙන් සරසා සතුටුව පණම් තුන්දාහක් පමණ කර්මාන්තයට ,






                

                       


Saturday, March 2, 2024

සිව් වන මිහිඳුගේ වේවැල්කැටිය පුවරු ලිපිය.



 මෙම ලිපිය 1875දී ගෝල්ඩ්ස්මිත් විසින් උතුරු මැද පළාතට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැදෑ කෝරළයේ පහළ කැදෑ තුළානට අයත් වේවැල්කැටිය ගමෙන් සොයා ගන්නා ලද්දකි.මෙය පිහිටුවන ලද්දේ හතරවන මිහිඳු රජුගේ  කාලයේ දී බව ඉසඩ් වික්‍රමසිංහ කියයි.මෙහි හතර වන මිහිඳු රජු හඳුන්වා ඇත්තේ සිරිසඝබෝ අභා වශයෙනි .

මෙම වේවැල්කැටිය ශිලාලිපියෙ සදහස් දසගම් යනු ගම් දහයක එකතුවක් ,එසේ නැතහොත් දාසයන්/මෙහෙකරුවන් / විහාර දායකයන් සිටි ගමක්ද යන්න නිශ්චිතව කිව නොහැක.නමුත් දසගම් ඇතුළත නීතිය පිළිසිඳනු ලැබුයේ දසගම් නායකයන් ඇතුළු අධිකරණයක් මගිනි.මෙම අධිකරණය රාජසභාවේ අධීක්ෂණය යටතේ පැවති අතර අධීක්ෂණයෙ ප්‍රජාතන්ත්‍රක ලක්ෂණ රැසක් විය.එසෙම දසගම් ඇත්තන් තුළ සාමුහික වගකීමක් ෆ්හ පැවතුණි.
      මෙය ක්‍රි,ව 10වන සියවසට අයත් වුවද නීතීරිතී ඊට සියවස් කිහිපයක් සිට ම ක්‍රියාත්මක වූ ඒවා බව මෙම ශිලාලිපියෙහි පෙර සිරිත් සෙ යන වචනය අන්තර්ගත වීමෙන් පෙනීයයි.මේ අනුව අනුරාධපුර අවසන් සියවස් කිහිපය තුළ  ලංකාවේ ක්‍රියාත්මක වූ අධිකරණ ක්‍රමය ,නීතිරීති ,දඩුවම් ආදිය පිළිබඳ පුළුල් අවබෝධයක්  මෙයින් ලද හැකිය.මෙහි භාෂා ලක්ෂණ අනුව මෙය මධ්‍යතන සිංහල යුගයට අයත් වේ.එනම් (ක්‍රි.ව.8-13 සියවස මැදභාගය) දක්වා ය.

ලේඛනය :-
     
ශ්‍රී සිරිබර කැත්කුල කොත් ඔකාවස් රජ්පරපුරෙ ,න් බට් කැතුඋසබ්නට් අග්මෙහෙසුන්වූ ලක්දිව් පොළො,
යෝන පරපුරෙන් හිමි වූ සිරිසඟ්බො අභා මහරජ්‍හු
පුත් සිරිසඟ්බො අභය් මහරජ්හු සත් ලැඟු (නව)ව
න හවුරුදුයෙහි අන්ද්වප් සන්ද් පෙරෙ අඩ් (ම)ස්හි ද(ස)
පක්  දවස් උතුරු  පසැ අම්ගම්කුළියෙහි කිබි(නිල)
මිහි දෙමෙළ්වෙහෙර් පමණියෙන් දසගමට් එකෙක
නායකයන් කිබීගම ඇප දුන් නායකයන් කුඩී
න් මෙහි ඇතුළත්තාක් තැනැ කුහිවකු මරා කෙ(ටු)ව
ජඬපළා සොරකම් කළ තිරූ කොට් ගෙනැ දස ගැමැ ඇ
ත්තන් හින්දැ විචාරා උපන් දැයට් පෑ හැකියේ ලියා
තබා මාරුවෙහු මරා පට්වනු කොට් ඉසා කඬපළා සොරු
න් ගත් අයතියෙන් නියතකළාක් අයිතිය (හි)මි
හට් ගෙන දී එල්වනු කොට් ඉසා තිරූ නොකළ දසගැ
මැ ඇත්තන් පන්සාලිස දවසෙකින් සොයා ගෙනැ පට්
වනු කොට් ඉසා සොයා නොගත දස ගැමින් එක්
සිය පස්විසි කළන්දක් රන් රදොලට් දෙනු කොට් ඉසා
නොමරා කෙටුව දිව්මිලැ පනාස් කළන්දක් රන් ගන්නා
කොට් ඉසා නො පොහොත් ගෙදඩ් ගන්නා කොට් ඉසා තිරු
නොකළ දසගැමින් පනාස් කළන්දක් රන් රදොලට් දෙනු කො.
  
අර්ථය:-
යහපතක් වේවා,ක්ෂත්‍රීය කුලයට කොතක් බදු වූ ,ඔක්කාත රාජ පරම්පරාවට අවතීර්ණ වූ, ක්ෂීත්‍රීයොත්තමයන්ට අග්‍රමහේසිකාව වූ,ලක්දිව පොළොව උත්පත්ති ස්ථානය කොට ඇති,පරම්පරාවෙන් හිමිවූ,ශ්‍රී සංඝබෝධි අභය ,මහරජතුමාගේ පුත්‍ර ශ්‍රී සංඝබෝධි  අභය  මහරතුමාගෙ ජත්‍ර ලංඝිත හෙවත් අභිෂේකයෙන්,නව වන අවුරුද්දෙහි,උඳුවප් මාසයෙහී,පූර්ව අර්ධ මාසයෙහි, දසවන දවසෙහි,ුඋත්තර පාර්ශවයෙහි,එනම් පළාතෙහි,කිබි නම් ප්‍රදේශයේ,දෙමළ විහාර පමුණුවෙන්,දස ගම් අතුරෙන් එක් එක් නායකයන් ද, කිබි ගමෙහි  ඇප දුන් නායකයන් ද, ගම්වාසීන් ද යන මේ අය විසින්, මේ දස ගමට අයත් තැනක ,කිසිවෙකු කොටා මැරුවහොත්,මං කොල්ලා කෑම සිදු කලහොත්,බන්ධනය කොට ගෙන,දසගම් ප්‍රධානින් එකතු වී,විචාරය කොට,උපන් දෙයට  ලෙඛන ගත කොට ,මිනි මැරු තැනැත්තා මරා,සංසිදවීම් කිරීමද,මං පහරා සොරුන් විසින් ගත් සන්තකයේ නිශ්චිත අයිතිය,ධන හිමිහට ගෙන දී,එල්ලීමද,බන්ධනය නොකළහොත්  දසගම් ඇත්‍තන් සතලිස්පස් දවසකින්,සොයාගෙන ,සංසිදවීම කිරීම,සොයා නොගත්තහොත් ,දස ගමෙහි එකසිය විසිමස් කළදක්,රත්‍රන්,රාජ කුලියට දීමද,

Thursday, February 29, 2024

බදුලු ටැම් ලිපිය.


බදුලු ටැම් ලිපිය ඌව පළාතට අයත් මහියංගන මහා චෛත්‍යයට සැතපුම් තුනක් පමණ ඊශාන දෙසින් පිහිටි සොරබොර වැව ආශ්‍රිත ප්‍රදේශයකින් සොයා ගන්නා ලද්දකි.එවක එම ප්‍රදේශය හෝපිටිගමුව යන නමින් හැදින්වූ බව ශිලාලිපියෙන් හෙළිවෙයි.මෙම ශිලාලිපිය එවක ඉංග්‍රීසි ආණ්ඩුවේ උපඒජන්තවරයෙකු වශයෙන් කටයුතු කළ ජෝන් බේලි මහතා විසින් සොයාගනු ලැබූවකි.ඉන්පසු මෙය බදුලු නගරයට ගෙනවිත් පිහිටුවීම නිසා බලුදු ටැම් ලිපිය වශයෙන් හැදින්වීම ආරම්භ විය.මෙහි සදහන් වන ආකාරයට මෙය (ක්‍රි.ව 946-954) හතර වන උදය රජු විසින් පිහිටුවන ලද්දකි.මෙය අනුරාධපුර අවසාන භාගයට අයත් වේ.

මහියංගනය ආශ්‍රිතව පැවති හෝපිටිගමුව ප්‍රදේශය ක්‍රි.ව 10 වන සියවසේදී ප්‍රසිද්ධ වෙළෙඳ නගරයක් වශයෙන් පැවතුණි.ඒ වනවිට එම වෙළෙඳ පොළ බදු ගත් තැනැත්තාගෙ සේවකයෝ වෙළෙන්දන්ගේ හා ගම්වාසීන්ගෙන් අයතා පරිද්දෙන් බදු අයකර ඔවුන් පීඩාවට පත්වන ලෙස කටයුතු කරමින් වෙලෙද පොළ පරිපාලන කටයුතුවල නියුක්තව සිටියහ.එවක මහියංගන මහ වෙහෙරට පැමිණි හතර වන උදය රජුට මෙම වෙළඳ නගරයේ පවත්නා නොමනා ස්වභාවය පිළිබඳ ව්‍යාපාරිකයො හා ගම්වාසීහු පැමිණිලි කළහ.එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම වෙළෙඳ නගරයේ පරිපාලනය සකස් විය යුතු ආකාරය පිළිබඳ රජුගේ නියමයට අනුව සම්පාදනය වූ නීතිරීතී සමුදායක් මෙහි අන්තර්ගත වෙයි.

මෙම ශිලාලිපිය ක්‍රි.ව 10 වන  සියවසේ පිහිටුවන ලද්දක් වුවද එහි අන්තර්ගත කරුණුවලින් පෙනීයන්නේ ඊට පෙර සෑහෙන කාලයක සිටම හෝපිටිගමුව වෙළෙඳ නගරයෙහි මෙම ව්‍යවස්ථා ක්‍රියාත්මක ව පැවති බවයි.එහෙත් කල් යත්ම එම ව්‍යවස්ථා යථා පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව විසින් රජුට පැමිණිලි කළ බව පෙනේ.ඒ අනුව අනුරාධපුර යුගයේ අවසන් භාගයේ ලංකාවේ ක්‍රියාත්මක වූ වාණිජ නීතිය ,වෙළෙඳ නගරයක පරිපාලන ව්‍යුහය සකස්ව පැවති ආකාරය හා සමාජ ස්ංස්කෘතික තොරතුරු රැසක් මෙම ශිලාලිපියෙන් අනාවරණය වෙයි. එසේම මධ්‍යතන සිංහල යුගයේ භාෂා ලක්ෂණ හා අක්ෂර රෑප පරිණාමය සම්බන්ධයෙන් මෙම ශිලාලිපිය මගින් තොරතුරු ලබා ගත හැකිය.

ලේඛන -: 

A    සිරිබර කැත්කු-                                                        -ලකොත්  උකාවස්-                                                   රද්පරපුරෙන් බ-                                                       -ට් ලක්දිව්පෙළො-                                                    යොන පරපුරෙන් හි-                                               මි වූ එ මෙ කුලෙන් බ-                                             -ට් සමුදගොන් බිසො-                                              රැදැනයැ උපැදැ ඈපා ම-                                         -හයා සිරි විදැ පිළිවෙල                                            සෙ රැදැ පැමිණැ රැදැ ක-                                        ළ සිරිසගබො උදාම-                                               -හරදහු තුමා සත් ලැ-                                             -ඟු දෙවන හවුරුදු-                                       " සරිබර සම්පත්තියෙන් ආඪ්‍ය වූ,කැත්කුල කොත්,ක්ෂ්ත්‍රිය කුලයට කොතක් බඳු වූ,උකාවක් රද් පරපුරෙන් බට්,ඔක්කාක හෙවත් ඉක්ෂවාකු රාජ පරම්පරාවෙන් අවතීර්ණ වූ හෙවත්  අයිති වූ ,එමෙ කුලෙන් බට් ,එම කුලයෙන් අවතීර්ණ වූ හෙවත් පැමිණියා වූ,සමුදගොන් බිසොරුදැනයැ,සමුද නම් උතුම් බිසො රාජිනියගේ කුසෙහි                               ඉපිද,ඈපා මහියා සිරි විදැ,ආදිපාද මහාදිපාද සම්පත් වින්දනය කොට,පිළිවෙළසෙ රැදැ පැමිණැ,පිළිවෙළින් රාජ්‍යයට පැමිණ ,රැදැ කළ,රාජ්‍ය කළා වූ,සිරිසඝබෝ උදා,ශ්‍රී සංඝබෝධි උදය,මහරදහු ,මහරජතුමා,තුමා සත් ලැඟු දෙව්න හවුරුදුයෙහි.

B  -යා නො කරනු ඉසා                                                  ගම්ලද්දන් ගැත්ත-                                                   -න් මන්ද්‍රඩින් ගැත්ත-                                               -තාර කොට පිරිකපා                                                තබා දුන් දඩ ගනුත්                                                  මිසැ ගම වටා ගෙනැ                                                ගෙ  තිරු ගෙනැ දඩ                                                නො එළ්වනු ඉසා                                                       දඩ ගැමැ හිනදැ එ ළ-                                               -වත් මිසැ කුඩින්    

අනියා නොකරනු ඉසා,අනියමක් හෙවත් අසම්මතයක්,නොකරනු ඉසා,නොකිරීම ද,ගම්ලද්දන් ගැත්ටන්,ගම ලද අයගේ හෙවත් වෙළෙඳ නගරය ලද අයගේ සේවකයන්,මන්ද්‍රඩින් ,උපදේශකයන්,හැන්දැ ,එකතු වී,විතාර කොට,විචාර පිරිකපා තබා ,පිරිසිඳ හෙවත් හැම ලෙසින්ම නිශ්චය කොට,දුන් දඩ ගනුත් මිසැ,දෙන ලද  දඩ හෙවත් බ්ඳු ගැනීම මිස,ගම වටා ගෙනැ ,ගම වටලා ගෙන,ගෙ තිරු ගෙනැ,ගෙදරට සිරකොට ගෙන ,දඩ නො ,එළ්වනු ඉසා,නොඉල්ලීම ද,දඩ ගැමැ හින්දැ එළ්වත් මිසැ,දඩ ගම තුළ සිටිය දී ඉල්ලීම මිස,කුඩින් ,ගම්වාසීන් ,

C    -ඩු පෙරෙමගට                                                         ගොස් නොගන්නා                                                   ඉසා පාට්ටපැළහි පෙ-                                             රෙ සිරිත් කුසලාන් කැ-                                           -රැ ගෙනැ දී තමාගේ කැ-                                        -රැ ගනුත් මිසැ නොසි-                                             රිත් නොකරනු ඉසා                                                 බදු මිනු ලහසියෙන් මි-                                           -සැ සෙසු ලහසියෙ-                                                -න් නො මනනු ඉසා-

පෙර මගට ගොස් ,නොගන්නා ඉසා,නොගැනීමද,පාට්ට බදු ක්‍රමයට අදාළ බිම් කොටස්වල,පෙර සිරිතට අනුව කුසල් පිණිස දෙන බදු ගෙන දී,තමාගෙ බදු කොටස ගැනීම මිසැ,නොසිරිත් දෙයක් හෙවත් අසම්මතයක් නොකිරීම ද,බදු සම්මත ලහස්සෙන් මිස,ව්ව්බස් ලහසුවලින් නොමැනීමද,

 D  සිය ගනිතී කු                                                            -ඩීන් ගිගිරි කොට                                                    වැඩිතැනැ දැන්                                                          වූ තැනින් පෙරෙ                                                      සිරිත් පස් වි-                                                            -ස්ස ගන්නෙය යි                                                      වදාළ තැනින්  පඩුර-                                               -ට පස්විස්ස ග                                                          න්නා කොට ඉසා                                                      මෙ ගම්හි ලා මිනිකො,

ගම්වාසීන් උද්ඝෝෂණය කොට,වැඩියාවූ තැනැත්තාට හෙවත් රජතුමාට දැන්වූ අවස්ථාවේදී,පූර්ව චාරිත්‍රානුකූල විසිපහ ගන්නැයි,වදාළ අවස්ථාවේ දී,පඩුරු සදහා විසි පහක් ගැනීම ද,මේ ගමෙහිදී මිනී මරා යන කල්හි,



              

Sunday, February 11, 2024

පස්වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරු පිලිය .

 මෙම ශිලාලිපිය අනුරාධපුර අභයගිරි විහාර භූමියට ආසන්න ප්‍රදේශයකින් සොයා ගන්නා ලදි.මේ ශිලාලිපිය කරවා ඇත්තේ බුද්ධදාස සිරි සංඝබෝධි අභයගේ හා සංඝ්භද්‍රාගේ පුත් වූ සලමෙයිවන් අබහයි.මේ ලිපියේ හදුන්වා ඇත්තේ 5වන කාශ්‍යප රජු පිළිබඳ ව ඇති කරුණු අතර පවත්නා සමානතා නිසාම සලමෙයිවන් අබහය යනුවෙන් හදුන්වා ඇත්තේ 5වන කාශ්‍යප රජු බව නිසැකය.(ක්‍රි.ව.929-939)මෙහි බුද්දස් සිරිසඟබොයි අබහය යනුවෙන් හදුන්වා ඇත්තේ 2වන සේන රජුය.

      මෙම ශිලා ලිපියෙහි 5වන කාශ්‍යප රජු විසින් කරන ලද පිංකම්,මිරිසවැටියෙහි සංඝාරාමය,කාශ්‍යප රාජමහා විහාරය හා අභයගිරියෙහි කපාරාමූළයට සම්බන්ධ සිලාමේඝ පබ්බත විහාරය ආදිය කරවීම හා අභයගිරි නිකායට  සම්බන්ධ විහාරස්ථානවල යහ පැවැත්මට පනවන ලද ව්‍යවස්ථාවන් පිළිබඳ සඳහන් වේ.මෙම ව්‍යවස්ථා පන්තියෙන් පැහැදිලි වනුයේ භික්ෂු ජීවිතයේ උත්කෘෂ්ඨභාවය අරභයා රජු විසින් ගන්නා ලද ප්‍රයත්නයයි.පොදුවේ ගත්කළ ශාසනික දියුණුව සඳහා රජු විසින් කරන ලද සේවාවන් හා අභයගිරි නිකාය හා සම්බන්ධ ආරාමයන්හි පරිපාලනය පිළිබඳ වැදගත් තොරතුරු මෙම ලිපියේ සඳහන් වේ.

      ක්‍රි.ව.10වන සියවසට අයත් මෙම ලිපියෙන් මධ්‍යතන සිංහල යුගයේ භාෂා ලක්ෂණ  හා වර්තමාන ඇතැම් අක්ෂර රූප ස්වරූපයක් පෙන්වයි.

ලේඛනය-:

01-මඟුල් සිහසුන් රක් ගල් තල අයර් වජන් බෙරසීනය්නෙන් රැපු වරණන් ඇඩි මනද සින්දැ සී පැරැක්මෙන්.(මංගල සිංහාසන නැමැති ආරක්ෂක ගිරි තලයට නැග වචන නැමැති බිය ජනක සිංහනාදයෙන් සතුරන් නැමැති ඇතුන්ගේ ආඩම්බරය නැමැති මදය විනාශ කොට සිංහ පරාක්‍රමයෙන්).

02-වැජැම්බැ අනත් අපිරිසෙය් සොමි නිමල ගුණ වතුරෙන් ජියළ් සනයස් සසුන් අරියූ ලක්දිව් පොලොව් මෙහෙ .(වැජඹුණු අනන්ත අපරිච්ජේදය සෞම්‍ය නිර්මල ගුණ සම්පන්න නැමැති  ජලයෙන් ලොව සනසා ශාසනය දියුණු කළ ලංකා පෘථිවිය නැමැති මෙය ).

03-සන පරපුරෙන් හිමි මපුරුම් බුද්දස් සිරිසඟ්බොයි අබහය් මහරජ්හට් ජා සඟ් බඬය අප බිසෙව්.(මහේසිකාව පරම්පරාවෙන් හිමි වූ මාහා ප්‍රමුඛ බුද්ධදාස ශ්‍රී සංඝබෝධි අභය මහ රජුට ජාතක ව , සංඝ භණ්ඩිකා හෝ සංඝ භද්දා නම් අපගේ අභික්ෂිප්ත ).

04-රැජ්නැණියන් කුස්හි හෙවැ දුනූ සැණැහි මෙ යුවරජ් බිසෙව් සිරි පැමැණැ යස තෙජ් හිර් සන්ද්නෙත් ලෙව් පහ.(රාජිනියගෙ කුසෙහි පිළිසිඳ උපන් ක්ෂණයෙහිම යුවරාජාභිෂේකශ්‍රීයට පැමිණ කීර්තිය හා තේජස නැමැති හිරු සඳුගෙන් ලෝකය ප්‍රභාවත් කොට).

05-යය් සිය වික්මෙන් සතුරන්මැඬැ පළ නිමල කිත් වතුරෙන් ලොවත් පතුළ් දෙබිසෙවැ ජා සලමෙය්වන් අබ.(ස්වකීය වික්‍රමයෙන් සතුරන් මර්දනය කොට ප්‍රකට නිර්මල කීර්තිය නැමැති ජලයෙන් ලෝකාන්තය තෙක් පතළ දෙවරක් අභිෂේක ලද  බිසවගෙන් උපන් ශිලා මේඝවර්ණ අභය).

06-හය් මහරජ්යුතාර් මිරිසවිටි සඟ්සෙන් අරම් කසුබ්රජ් මහවේහෙර් කර්ය් අරී පන්සීයන් වසවය් සුලබ්.(මහරජාණන් මිරිසවැටි සංඝසේනාරාමය කාශ්‍යප රජමහා විහාරය  කරවා ආයර්යන් වහන්සේ පන්සීයක් වාසය කරවා සුලභ වූ).

07-සතර් පසයෙන් පුජස් සසුන් කොත් හුවය් ඇතිනකරු මඟුල් මහවෙයැ දකුණ් දොර් අසන්හි රජ්වෙද්හහල්.(සිව් පසයෙන් පුදා ශාසන කොඩිය ඔසවා ඇතුළු නගරයෙහි මංගල මහා වීථියෙහි දකුණු දොර ආසන්නයෙහි රාජ වෙද ශාලා).

08-කයර් රොව්  බිය සමය් පොදොනවුලු පලුඬාවුලුයෙන් කෙත් කම් සුලබ් කොට් සිරිලක් ළෝන්දූර්වය් සාබියනි.(සාදවා රෝග භීතිය සමනය කොට පොදොනවුලු හා පුලුඩාවුලු යන වැව්වලින් හො ප්‍රදේශවලින් ක්ෂේත්‍ර කර්මාන්තය හෙවත් ගොවිකම සුලභ කොට හෙවත්  දියුණු කොට දුර්භීක්ෂය නිවාරණය කොට).

09-වය් රට් සොයස් සැත් බිය න්රැ නන් ජැයින් නන්සෙය් බුද් බන්ද් නරය් සියල් ඉසිරැයෙන් පුජ්ය් දා සැණෙ.(රට ශුද්ධ  කොට ආයුධ භීතිය හා සතුරු භීතිය බැහැර කොට නොයෙක් ජාතිකයන් නෙයෙක් සෙයින් බුදුසමය හා සම්බන්ධ කර සකල සම්පත්තියෙන් පුදා ධාතු උත්සවයෙන්).

10-න් බුද්රුවන් අරියය් ධමුරුවන් කවරි සෙයකින් පුජනෙමි හො යන අදහස් පුරය් අභිධම් දෙසුන් කසුන් .(බුද්ධරත්නය සතුටු කොට ධර්ම රත්නය කවරාකාරයකින් පුදන්නෙමි දෝ හෝ යන අදහස සම්පූර්ණ කොට අභිධර්ම දේශනා රන් පත්හි).

Monday, February 5, 2024

මිහින්තලා ලෙන් ලිපි


 මිහින්තලා ලෙන් ලිපිය සිංහල ප්‍රාකෘත යුගයට අයත් වේ.මෙය ක්‍රි.පූ.3/2 - ක්‍රි.ව. 3/4 සියවස අතර කාල පරුච්ජේදයයි.සිංහල ප්‍රාකෘත යුගය පූර්වාර්ධයට අයත් මෙම ශිලා ලිපිවලින් අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් තොරතුරු රැසක් එළිවෙයි.මිහිඳු මාහිමියන් විසින් දෙවැනපෑතිස් රජු දවස ලංකාවට බුදුදහම හදුන්වා දීමත් සමඟ ම ලංකාවේ ලේක්ඛන කලාව ආරම්භ වූ බව පෙනේ.ඉන්පසු භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජන සඳහා විවිධ පුද්ගලයන් විසින් ලෙන් සකස් කොට පූජා කිරීම සම්බන්ධයෙන් සහ බුද්ධාගම ව්‍යාප්ත කිරීම පිළිබඳ කරුණු ද මුල්කාලීන මෙම ශිලාලිපි අධ්‍යනයෙන් තොරතුරු ලබා ගත හැකි වේ.

      මුල් කාලීන රජවරු භාවිතා කළ විරුද නාම(දෙවනපිය පිතිමහරජ),ඇතැම් පපුද්ගලයන් භාවිතා කළ පදවි (පරුමක,බඩගරික),කතරගම දස බෑ රජවරුන් බඳු අප්‍රකට රාජවංශ පිළිබඳ තොරතුරු ,යුද හමුදාව හා සම්බන්ධ සෙනපති වැනි පදවි හා ඇතැම් විට පුසදෙව ,නන්දිමිත්‍ර ,වෙලුශුමන වැනි ඔවුන්ගේ සංඥානාම ,(දෙමළ ,කාම්බෝජය,යෝන ) වැනි විවිධ ජාතිකයන් ,(නාවිකයන් ,අයකැමි,ගබඩාකරු,මණිකර,නටක,තුලදර,තබකර ) වැනි විවිධ වෘත්තිකයන් පිළිබඳ තොරතුරු රැසක් මෙම යුගයට අයත් ගුහා ලිපිවලින් හෙළිවෙයි.

        එසේම අමෙති ,බඩගරික,බතගු,නගර ගුතික,අශ අදෙක ,අති අදෙක, වැනි රාජ්‍ය නිලධාරීන්  කුමර (අය), කුමාරි ( අබි) ,බිසව ( දෙව්)  වැනි රජ පවුලට සම්බන්ධ වචන  හා තිසදෙව් ( තිස්ස දේවිය), ශුමන දෙවි(සුමනා දේවිය)වැනි සංඥා නාමද මෙම ගුහා ලිපි වල හමුවේ.මහින්දාගමනයට පෙර සිටි බමුණන් පිළිබඳ තොරතුරු එසේම ඉන් පසුව සිටි බමුණන් ගැන තොරතුරු ද සඳහන් වේ. 

       මීට අමතරව සිංහල ප්‍රාකෘත යුගයේ භාෂා ලක්ෂණ හා බ්‍රාහ්මී අක්ෂරවල ස්වභාවය අධ්‍යනයට මෙ ගුහා ලිපි වැදගත් වේ.

ලේඛනය: 

01- ඣාති(ශෙ)න තෙරශ අතිවශික බත සුමන දත තෙරශ ලෙණෙ ශගශ .                                     (ජෝතිසේන තෙරුන්ගේ අන්තේවාසික පින්වත් (බවත්) සුමනදත්ත තෙරුන්ගේ ලෙන සංඝයාටයි.)

02-දෙවනපිය මහරඣහ බරියය බකි(නිය) උපශික වරුණ (දත) ය (ලෙ)ණෙ.                          ( දේනානම්ප්‍රිය මහරජගේ භාර්‍යාවගේ සොහොයුරිය වූ වරුණදත්තා උපාසිකාවගේ ලෙනයි)

03-බඩගරික පරුමක තිශ පුත පරුමක අශඩ ගුතහ ලෙණෙ බඩගරික .                                       (භාණ්ඩාගාරික ප්‍රමුඛ තිස්සගේ පුත්‍ර ප්‍රමුඛ අශඩ ගුත්තගේ ලෙනයි).

04- මහරඣහ ගමිණි තිශශ බරිය උපශික කිතකය ලෙණෙ ශගශ.                                            (මහාරාජ ගාමිණී තිස්සගේ භාර්‍යාව වූ කිතකාගේ ලෙන සංඝයාටය).

05-ගපති වෙග ඣ්තය උපශික විශ(කය) ලෙණෙ.                                                                     (වේග ගෘහපතිගෙ දුව වූ විශාකා උපාසිකාවගේ ලෙනයි).

06-උපශික තිශය ලෙණෙ.                                      (තිස්ස උපාසිකාවගේ ලෙනයි)

07-පරුමක ගුත පුත පරුමක ශුමනහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ.                                 ( ප්‍රමුඛ ගුත්තගේ පුත්‍ර ප්‍රමුඛ සුමනගේ ලෙන පැමිණි නොපැමිණි සතරදිග සංඝයාටය).

08-තිශ ශමණිය ලෙණෙ ශගශ.                            (තිස්සා මෙහෙණියගේ ලෙන සංඝයාටය ).

09-පරුමක වෙශමණ බරණිය ලෙණෙ දෙවහ චතුදිශ ශගශ.                                                           (ප්‍රමුඛ වෙශමණ පුත්‍ර බරණිගේ හා දේවගේද ලෙන සතරදිග සංඝයාටය).

10-උපශික මහනගය ඣ්තය උපශික රොණිය ශගශ උපශික මහනගය.                                       (මහානාග උපාසිකාවගේ දුව වූ රෝහිණී උපාසිකාවගේ ලෙන සංඝයාටය ).